ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස, දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 8 වනදා සිට තවදුරටත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.
පැයට කිලෝමීටර 50 ක වේගයෙන් තද සුළං
ඒ අනුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.
මේ අතර, ඌව පළාතේ සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැක.
අනෙකුත් ප්‍රදේශවල සවස 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇති විය හැක.
මෙම තත්ත්වය තුළ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී තිබේ.