අඹුසැමි යුවළක් ගමන් කරමින් තිබූ යතුරුපැදියක් දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දිය ප්‍රදේශයේදී ඊයේ (03) පස්වරුවේ හදිසියේ ගිනිගෙන විනාශ වී ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.
කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ, පොල්තෙල් සිඳ ගැනීම සඳහා කොප්පරා බෑගයක් රැගෙන තෙල් මෝලක් කරා යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත.
එහිදී යතුරුපැදියෙන් එකවරම ගින්නක් හටගෙන ඇති අතර, වහා ක්‍රියාත්මක වූ අඹුසැමි යුවළ ඉන් බිමට පැන දිවි බේරාගෙන තිබේ. ඔවුන් බිමට බසිනවාත් සමඟම ගින්න ඉතා වේගයෙන් යතුරුපැදිය පුරා පැතිර ගිය බවට හෙළිවූ බව පොලිසිය සඳහන් කරනවා.
මහමඟ ඇවිලෙමින් තිබූ යතුරුපැදියේ ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වී ඇති අතර, පසුව එය නිවා දැමීමට ඔවුන් සමත්ව තිබූ බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් ගින්නෙන් යතුරුපැදියට විශාල හානියක් සිදුව තිබුණා.
මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානි සිදු නොවුණු අතර, යතුරුපැදියේ ඇති වූ යම් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගත්තේද යන්න පිළිබඳව සැක පවතින බව දඹුල්ල පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.