නිදහස් දින කළු කොඩි ප්‍රකාශය ත්‍රිකුණාමල රදගුරු හිමි ඉල්ලා අස්කර ගනී

user 02-Feb-2026 විශේෂ Views: 96

ජාතික නිදහස් දින උත්සවය යෙදී ඇති පෙබරවාරි 4 වැනිදා කළු දිනයක් ලෙස සලකා කළු කොඩි ඔසවා සිය විරෝධය දැක්වීමට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් කළ ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එම්මානුවෙල් හිමියෝ එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වූ රදගුරු හිමියෝ තමන් කළ ප්‍රකාශයට සෙසු දිස්ත්‍රික්කවල රදගුරු හිමිවරු විරෝධය දැක්වීම නිසා සිය ප්‍රකාශය අස්කර ගත් බවත් කළු කොඩි ඔසවා ශෝක දින සැමරුමට තමන් සහභාගි නොවීමට තීරණය කළ බවත් ප්‍රකාශ කර සිටියහ.

ජාතික නිදහස් දිනයදා දෙමළ ජනතාව ලැබූ නිදහසක් නැති බව පවසමින් උතුරු නැගෙනහිර කළු කොඩි ඔසවා විරෝධය දැක්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රචාරයක් ගෙන ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගිය දා ත්‍රිකුණාමලය රදගුරු හිමියන් ද බැහැ දැක තිබිණි. එහිදී රදගුරු හිමියන් ත්‍රිකුණාමලය දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් එයට සහාය දක්වන ලෙස කළ ප්‍රකාශයක් වීඩියෝ ගත කළ විශ්ව විද්‍යාල සිසුන් සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කිරීමෙන් පසු ඇති වූ බලපෑම් හමුවේ මෙම තීරණයට එළැඹ තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට දුරකථනයෙන් අමතමින් රදගුරු හිමියන් පැවසූවේ තමන් මෙO ප්‍රකාශය ඉවත් කර ගත් බවත් එම විරෝධයන්ට තමන් සම්බන්ධ නොවීමට තීරණය කළ බවත්ය.

මේ අතර ත්‍රිකුණාමල රදගුරු හිමියන් කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් විවිධ ස්ථානවල පෝස්ටර් අලවා තියෙන අයුරු ද දක්නට ලැබිණි.

 

Related Post

Popular post