tnws

 යුක්තිය සෙවීම සම්බන්ධයෙන් සිංහල ජනයාගේ භූමිකාව වැදගත් - කැලම් මැක්රේ


Tuesday, 10 March 2015 19:24
  නිදහස් මාධ්‍යයක් සඳහා නව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඇති කැපවීම අභියෝගයට ලක්කරමින්, ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම එමි සම්මාන සඳහා නාම යෝජනා ලත් ‘යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ මිනිස් දඩබිම්’ (No Fire Zone: The Killing Fields of Sri Lanka) වාර්තා චිත‍්‍රපටයේ සිංහල පිටපත, මාර්තු 10 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වනු ලැබිණ.

2009 වසරේ යුද්ධාවසානයේ සිදුකැරුණු යුද අපරාධ හා සමූහ ඝාතන හෙළිදරව් කරන මැක්රේගේ විවාදාපන්න චිත‍්‍රපටය මේ දක්වා ශ‍්‍රී ලංකාව තුළ තහනමට ලක්ව ඇති අතර, එහි නිර්මාණකරුවන්ට උදව් කළ ඕනෑම අයකුට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවට තර්ජන එල්ලව තිබුණි.

මෙම එළිදැක්වීම ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ බි‍්‍රතාන්‍ය සංචාරයට සමගාමී ව සිදුවන අතර, චිත‍්‍රපට දර්ශනය පැවැත්වුණේ ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍ය මහරැජන සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගී වීමට නියමිත දිනට දවසකට කලිනි. JDS සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ කියා සිටියේ චිත‍්‍රපටය ශ‍්‍රී ලංකාවේ තිරගත වුවහොත් සිය ආණ්ඩුවේ හමුදා විසින් යුද්ධයේ අවසන් අදියරේ දී සිදුකරන ලද යුද අපරාධ හා සමූහ ඝාතන පිළිබඳ හද කම්පා කරවන සාක්ෂ්‍ය පළමු වතාවට දැකගැනීමට බහුතර සිංහල ජනතාවට අවස්ථාව සැලසෙන බව ය.

‘‘මේ දක්වාත් ශ‍්‍රී ලංකාවේ බහුතරයක්, විශේෂයෙන් සිංහල ජනයා විසින් යුද්ධයේ අවසන් අදියර පිළිබඳ සත්‍ය තත්ත්වය ප‍්‍රතික්‍ෂේප කරමින් ඉන්නවා. රට තුළ ජනමාධ්‍යවල තත්ත්වය පරිවර්තනයකට බඳුන් කරන බවටත්, අන්තර්ජාලය තහනම ඉවත්කිරීම ඇතුළු මාධ්‍ය නිදහස පුලූල් කිරීමේ පියවරයන් ගන්නා බවටත් නව ආණ්ඩුව නැවත නැවතත් පොරොන්දු දී තිබෙනවා. මේ වාතාවරණය හමුවේ, ආණ්ඩුව විසින් සිංහල ජනයාට මෙය නැරඹීමටත්, බාධාවකින් තොරව සත්‍යය දැනගැනීමටත් ඉඩදෙනු ඇතැයි යන විශ්වාසය හා බලාපොරොත්තුව ඇතිව අපි ශ‍්‍රී ලංකාවේ සිංහල ජනතාවට මෙම චිත‍්‍රපටය පිරිනමනවා. රට තුළ තිරසාර දේශපාලන විසඳුමක් සඳහා මඟ සලසන සාමය හා යුක්තිය උදෙසා වන ජාතික කතිකාවතක් විවර කිරීමට මෙය උදව් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.’’ කැලම් මැක්රේ JDS හා සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

සටහන: කිත්සිරි විජේසිංහ

'ශ්‍රී ලංකාවේ ඝාතක බිම්' සිංහල බසින් එළි දැක්වුණු මොහොත - 2015 මාර්තු 10

වෙනත් භාෂාවන්ගෙන් සාක්‍ෂාත් කරගත් දේවල් හා සසඳන කොට, ඔබ මේ සිංහල පිටපතින් මුදුන් පමුණුවාගන්න උත්සාහ ගන්නේ කුමක්ද?

දෙමළ හා මුස්ලිම් ජනයා වගේම සිංහල ජනයාත්, තමන් පසුගිය ආණ්ඩුවේ දූෂණ, ඥාති සංග‍්‍රහය, මර්දනය හා මිනිසුන් පැහැරගැනීමේ සුදුවෑන් සංස්කෘතිය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන බව පැහැදිළිව පෙන්වා තිබෙනවා. මෙය දැවැන්ත වෙනසක්. මා එය කොහෙත්ම සුලූකොට තකන්නේ නෑ. මෙය ශ‍්‍රී ලංකාවේ ජනතාව ගත් ඉතාම නිර්භීත වගේම වැදගත් ස්ථාවරයක්.

දැන් ඔවුන් ඊළඟ අවදියට එළඹ සිටිනවා. මේ නව අවදිය වඩා වැදගත් වෙන්න පුළුවන්. මන්ද එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ජනයාගේ පැවැත්ම හා ගැටගැසුණු කාරණා නිසා. ඒ තමයි, යුද්ධය අතරතුර සිද්ධ වූයේ මොනවාද කියන එක ගැන සත්‍යය හා යුක්තිය සොයාගැනීම. ශ‍්‍රී ලංකාවේ සෑම සියලූ ජනතාවටම සාමයෙන් ජීවත් විය හැකි විදියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සහතික කරන දේශපාලන විසඳුමක් ඇතිකරගැනීම සඳහා මේ සොයාගැනීම ඉතාම වැදගත්. මෙතන දී සිංහල ජනතාවට ඉතාම වැදගත් භූමිකාවක් පැවරෙනවා. එහෙත් යුද්ධයේ දී ඇත්තටම සිදුවුණේ මොනවාදැ’යි නොදැන සිටීම ඔවුන්ට ඒ භූමිකාව හරියාකාරයෙන් ඉටු කිරීම අපහසු කරනවා. 'නෝ ෆයර් සෝන්' සිංහලෙන් තිරගතවීම උපකාර වනු ඇත්තේ මේ අවබෝධය ලබාගැනීමට යි.

එහෙත් සිංහල ජනයා අපරාධ කළ බවට ඔබේ චිත‍්‍රපටය චෝදනා කරනවා...

පසුගිය තිස් වසර පුරා සිංහල ජනයාත් දෙමළ කොටි සංවිධානයේ ප‍්‍රහාරවලින් පීඩා විඳ තිබෙනවා. ඒත් ඒ වගේම සිංහල ජනයා රාජ්‍යයේ ප‍්‍රහාරවලින් ද පීඩා විඳ තිබෙනවා. ඝාතනයන් හා අතුරුදහන් කිරීම් කියන්නේ ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේම කොටසක්. සිංහල ජනයාටත් නිරාකරණය කරගන්න අවශ්‍ය වෙලා තියෙන එක් ප‍්‍රධාන කාරණයක් වෙන්නේ අතීතයේ දී ඔවුන්ගේම සැළකිය යුතු ජන පිරිසක් මත ක‍්‍රියාත්මක වූ දණ්ඩ මුක්තිය සහිත සංස්කෘතිය අවසාන කිරීමයි. දණ්ඩ මුක්තිය සහතික කරන සංස්කෘතිය අවසන් කරන්නේ නම්, එය පොදුවේ ශ‍්‍රී ලංකාවේ වෙසෙන මේ සියලූ දෙනාට තමන්ගේ ඉදිරි මඟ සොයාගැනීමට වැඩදායක වෙන බව ඒකාන්තයි."

පසුගිය දා නිව්යෝර්ක් නුවර හා වොෂින්ටනයේ සිදු වූ විවාදාපන්න හමුවීම් මාලාවක දී මැක්රේ එක්සත් ජනපද ආණ්ඩුවේ මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, දූත පිරිස් හා වෙනත් කණ්ඩායම් හමුවූයේය. එසේ ම ඔහු ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, කාර්ය මාණ්ඩලිකයන් හා දේශපාලනඥයන් මෙන්ම හිටපු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ද සහභාගී වූ කොන්ග‍්‍රස් වටමේසයක් ඇතුළු රැස්වීම් මාලාවකදී ‘නෝ ෆයර් සෝන්’ නවතම චිත‍්‍රපටයේ කොටස් කිහිපයක් පෙන්වමින් අදහස් දැක්වීමක් ද කළේය. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමේ පටන්, ශ‍්‍රී ලංකාව කෙරෙහි වන එක්සත් ජනපද ප‍්‍රතිපත්තීන් පිළිබඳව JDS ඔහුගෙන් විමසීය.

"ඇමරිකාවේ සිදුවෙමින් පවතින්නේ මොකක්ද කියන එක ඇත්තටම වැදගත් කියලා මං හිතනවා. කලින් ඇමරිකාව යුක්තිය, සත්‍යය හා වගවීමේ අවශ්‍යතාව ගැන එක්සත් හඬකින් පුළුල්ව කතාකළා. නව මෛති‍්‍රපාල සිරිසේන ආණ්ඩුව සාදරයෙන් පිළිගැනීම නිසැකවම ස්වභාවිකයි. එහෙම වුණත්, එය ඇමරිකාවේ ස්ථාවරය යම්තාක් දුරකට වෙනස් කිරීමට හේතු වී තිබෙනවා. මා මෙය සලකන්නේ කණස්සල්ලට හේතුවක් ලෙසයි.

කලින් එක්සත් ජනපදය එක්සත් හඬකින් කතාකළා. ඒකට හේතුව යම්තාක් දුරකට මානව හිමිකම් කියන තර්කය එක්ක යාමට මිලිටරිමය පැත්තෙන් ආව හඬ වගේම ඇමරිකානු භූ මූලෝපායික අභිලාෂයන් නියෝජනය කළ හඬ ආදිය නිසායි. ඔවුන්ගේ විශ්වාසය අහිමි වුණු රාජපක්ෂ ආණ්ඩුවට පහර දීමට හා එය විවේචනය කිරීමට හැකි යමක් ඔවුන්ට තිබූ නිසායි.

ඒ වගේම ප‍්‍රධාන වශයෙන් චීනය සමඟ වර්ධනය වෙමින් තිබූ සබඳතා මේකට බලපෑවා. අලූත් මෛති‍්‍රපාල - රනිල් ආණ්ඩුව චීනයෙන් දුරස් වෙන ගමන් බටහිර රටවල් හා ඉන්දියාව සමඟ තමන්ගේ මිත‍්‍රත්වය යළි ගොඩනඟාගෙන සෑහෙන දුරකට බටහිර දෙසට නැඹුරු වෙමින් සිටින තත්ත්වය හමුවේ එක්සත් ජනපද මූලෝපායන් හා හමුදාමය ලැදියාවන් නියෝජනය කරන කොටස් ‘ආ එහෙම නම් ප‍්‍රශ්නයක් නෑ’ කියන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. සමහර කොටස් කෙලින්ම කියනවා, ‘මානව හිමිකම් ගැන අපේ හඬ අඩුකරමු’ කියලා. ඉතින් ඒක සැළකිය යුතු කාරණාවක්. ඇමරිකානු කොටස්වලින් අහන්න ලැබුණු තර්කය වුණේ, මේ අලූත් ආණ්ඩුවට ශක්තිමත් වෙන්න, තහවුරු වෙන්න , ආරම්භක ප‍්‍රතිසංස්කරණ කරන්න කාලය ලබාදිය යුතු බව යි.

සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට බලපෑම් කරන ගතිකයන් තුනක් තියෙනවා.

පළමුවැන්න ජාත්‍යන්තර බලපෑම. බටහිර රටවල් හා ඉන්දියාව සමඟ යළි සබඳතා තහවුරු කරගැනීම විසින් ශ‍්‍රී ලංකාවට හොඳ ප‍්‍රතිලාභ අත්කර දෙන්න පුළුවන්. මේ ප්‍රතිලාභ පාවිච්චි කරන්න පුළුවන්, සත්‍යය හා යුක්තිය සොයා යාමත්, බැරෑරුම් ලෙස දේශපාලන විසඳුමක් සොයාගැනීම දෙසට ගමන් කිරීම නොකඩවා පවත්වාගෙන යාමත් සඳහා ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන්න.

දෙවනුව සිරිසේන ආණ්ඩුව තමන්ව තෝරාපත් කරගත් දෙමළ සහ මුස්ලිම් ජනතාවට තමන් වගකිව යුතු බවක් මූලධාර්මිකව සලකන්නේ නෑ. ඔවුන් සළකන්නේ තමන් වගකිව යුත්තේ සිංහල ඡන්ද දායකයාට විතරයි කියලයි. සිංහල ඡන්ද දායකයා මුළුමනින්ම පාහේ තවමත් පොළඹවන සාධක වෙලා තියෙන්නේ කලින් බඳුම උග‍්‍ර ජාතිවාදය, අධික ජාත්‍යාලය හා රාජපක්ෂ රෙජීමය මඟින් ධෛර්යමත් කරන ලද මතිභ‍්‍රමයනුයි.

තෙවැනි ව, සිරිසේන ආණ්ඩුව සම්මුතිවාදීයි.

මෑත දී JDS වෙබ් අඩවියේම පළවූ ලිපියකින් අපි දුටු පරිදි, අලූතින් පත්කරන ලද හමුදා නායකයන් බොහොමයක් දෙනා යුද්ධ කාලයේ සිදුවූ සිදුවීම්වලට කෙලින්ම සම්බන්ධයි. ජනරාල් සරත් ෆොන්සේකා යම් තරමකට පසෙකට කර ඇතත්, ඔහු පැහැදිළිවම ආණ්ඩුවට සම්බන්ධයි. සිරිසේන යනු මහින්ද රාජපක්ෂ නැති අවස්ථාවල තමන්ම වැඩබලන සේනාධිනායකයා ලෙස කටයුතු කළ බව ප්‍රසිද්ධියේ කියන කෙනෙක්. ජාත්‍යන්තර අධිකරණයක දී ‘තාක්‍ෂණිකව මම ඒක කළත්, ඇත්තටම නම් මම එතරම් බලපෑම් සහගත පුද්ගලයෙක් වුණේ නැහැ’ යි කියා ඔහුට කියන්න හැකියාව තියෙන නිසා ඔහුට යම් නිදහසට කාරණයක් තියෙන්න පුළුවන්. හැබැයි සිරිසේන තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී කළේ මුළුමනින්ම එහි අනිත් පැත්ත. ‘මං තමයි වගකීම් දැරුවේ,’ කියා ඔහු කීවා. ඔහු කෙලින්ම යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ සිදුවීම්වලට වගකිවයුත්තන්ගේ ගොඩට තමන්ව දාගනිමින් ඒ කාරණාව කීවේ ආඩම්බරයෙන්. ඉතින්, ඔවුන්ගේම ඡන්ද දායකයන්ගෙන් එල්ල වන පීඩනයත්, සිරිසේන ආණ්ඩුවේ පාප සහායකත්වය හා එහි සිටින බොහෝ පුද්ගලයනුත්, යුද අපරාධ සහ සමූහ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය හා සත්‍යය කියන කාරණා සමඟ අභිමුඛ නොවීම දෙසට ආණ්ඩුව තල්ලූ කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉතාම කඩිනමින් ආමන්ත‍්‍රණය කළයුතු ගැඹුරුතම කාරණාවන්ට මුහුණ දීලා විසඳීමට විරුද්ධව බලපෑම් කරන්නත් ඉඩ තියෙනවා. ඒ එක් කාරණාවක් තමයි ශ‍්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් බෙදීම්වලට තුඩුදුන් අයුක්තීන්ට දේශපාලන විසඳුමක් සොයාගැනීම කියන කාරණය.

පළමු ගතිකය වන ජාත්‍යන්තර ප‍්‍රජාව, තමන්ගේ පීඩනය ඉවත්කර ගත්තොත්, එවිට අනෙක් ගතිකයන් දෙක සිරිසේන ආණ්ඩුව යටපත් කරගන්න එක වළක්වන්න බැහැ. ඒ නිසා ජාත්‍යන්තර ප‍්‍රජාව තමන්ගේ පීඩනය පවත්වාගෙන යාම ඉතාම අවශ්‍යයි. පීඩනය ඉවත් කරගන්නවා කියන්නේ මහා ව්‍යසනයකට හේතු වෙන දෙයක්.

තත්ත්වය ඔබ කියන විදිය නම් ඇයි ඔවුන් පීඩනය ඉවත්කර ගන්නේ?

"තේරුම් ගත හැකි විදියටම , මේ කියන ජාත්‍යන්තර ප්‍රජාව සිරිසේන ආණ්ඩුව සිදුකරමින් ඉන්න ඉතාම වැදගත් වෙනස්කම් ගැන උද්දාමයෙන් හා සන්තෝසයෙන් ඉන්නවා. ශ‍්‍රී ලංකාව වර්ගවාදය, විජයග‍්‍රාහී මානසිකත්වය, උග‍්‍ර ජාතිවාදය, දූෂණය, මර්දනය, අතුරුදහන් කිරීම් හා මහත් වූ භීෂණය සමඟ භයානක විදියට, ෆැසිස්ට්වාදය වැනි තත්ත්වයක ගිලෙමින් තමයි තිබුණේ. ඒ කි‍්‍රයාවලිය නැවැත්වීමට යම් වැදගත් පියවරයන් දැන් අරගෙන තියෙනවා. මේක පැහැදිළිවම හැම කෙනෙක් විසින්ම ඉහළින් පිළිගනු ලබනවා. මේක එක හේතුවක්.

ඒත් මගේ හැඟීම තමයි ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වා දෙන්නේ සිංහලයන්ට පමණක්ය කියන එක. ඔවුන් දෙමළ ජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැගෙන යන බනක් පේන්නේ නැහැ.

දෙවැනි කාරණය මානව හිමිකම් සඳහා වන සියලූ බලපෑම්, පෙනෙන්න තියෙන තරමටම ගරු කටයුතු පෙළඹවීමක් මත සිදුවෙන දෙයක් නොවීම. ඒ වගේම ඇතැම් මානව හිමිකම් ගැටලූ කියන්නේ රාජපක්ෂ පාලන තන්ත්‍රය බටහිර රටවල් දිගින් දිගටම අපහසුවට පත්කරන්නත්, චීනය සමඟ වැඩි වැඩියෙන් සමීප වෙන්නත් පටන්ගත්තාම ඒකට එරෙහිව පහර දෙන්න පාවිච්චි වුණ දේවල්."

යුද්ධයේ දී සිදුවූ දේට වරද පැටවිය යුත්තේ රාජපක්ෂ පාලන තන්ත්‍රය නොවන බව මැක්රේ පවසයි. ශ‍්‍රී ලංකාවේ ව්‍යූහාත්මක ගැටලූවක් පවතින බවත්, එය රටේ ජනතාව එකමුතුව විසඳාගත යුත්තක් බවත් ඔහු පවසයි. ‘යුක්තිය අවශ්‍ය යි. සත්‍යය අවශ්‍යයි. ඒ වගේම දරුණු අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීමක් අවශ්‍යයි.’ ඔහු පවසයි. රටේ ව්‍යූහාත්මක ප‍්‍රශ්නයට විසඳුමක් සොයාගැනීම රටේ ජනතාව විසින්ම කළ යුතු නම්, ශ‍්‍රී ලංකාවට යුද්ධයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැක්කේ මන්දැ’යි JDS මැක්රේ ගෙන් විමසීය.

"ප‍්‍රථමයෙන් හා ප‍්‍රධාන වශයෙන් යුද්ධය ඇරැඹුණු දා පටන් ශ‍්‍රී ලංකාව එවැනි පරීක්‍ෂණයක් පැවැත්වීමට කැමැති හෝ සමර්ථ නොවන බව මුළුමනින්ම ඔප්පු කර තිබෙනවා. ‘ශ‍්‍රී ලංකාව තමන්ම මේ ගැටලූවලට අභිමුඛ වීමට අසමත් බව ඔප්පු කර ඇත’ යන කාරණය පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව තීරණය කළා. රාජ්‍යයන් යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වර්ග සංහාර හෝ වාර්ගික පවිත‍්‍රකරණයන් වැනි කාරණා හසුරුවාගන්න අසමත් වන අවස්ථාවල දී ඊට මැදිහත් වීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට වගකීමක් තියෙනවා කියන එක එක්සත් ජාතීන්ගේ එක් මූලික ප‍්‍රතිපත්තියක් බව පැහැදිලිව සටහන් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණය පිළිබඳ වාර්තාව සැප්තැම්බරයේ එළි දකිනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එය නියම වශයෙන් සිදුවීම සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා කැපවනු ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් ශී‍්‍ර ලංකාවේ නව ආණ්ඩුවට පැවරිලා තියෙන ඊළඟ අදියර වන චූදිතයන් සඳහා අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීම කළ හැකි බව මෙතැන් පටන් සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ඔප්පු කර පෙන්වනවාද කියන එක ජාත්‍යන්තර ප‍්‍රජාව හා මානව හිමිකම් කවුන්සිලය, විශේෂයෙන් ගෝලීය දකුණේ සාමාජිකයන් සලකා බැලිය යුතුයි.

අවම වශයෙන්, තමන් වෙනස් වී ඇති බව විදහා දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කළ හැකි - කළ යුතු යම් යම් දේ තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් රෝම ප‍්‍රඥප්තියට ඇතුළත් විය යුතුයි. කිසියම් රටක් මෙම කාරණා සම්බන්ධයෙන් තමන් විසින්ම කටයුතු කරනවා නම්, රෝම ප‍්‍රඥප්තිය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊට අත පොවන්නේ නැති නිසා, මේ පියවර රටේ ස්වෛරී භාවය සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් ඇතිකරන්නේ නෑ.

දෙවැනි කාරණාව, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වර්ග සංහාරය හා වාර්ගික පවිත‍්‍රකරණය යන කාරණා සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන ආණ්ඩුවක් නම් නම්, මේ අපරාධ ඔබේ දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කළ යුතුයි. ශ‍්‍රී ලංකාවේ මේවා අපරාධ ලෙස සැලකෙන්නේ නෑ. ඔවුන් මෙතැන් පටන් සැප්තැම්බර් දක්වා කාලය තුළ මේ නීති හඳුන්වා දෙන්නේ නැතිනම්, සිද්ධාන්තයක් විදියට ඒකෙන් ඔප්පු කරන්නේ ලංකාවට දේශීය පරීක්ෂණයක් පැවැත්විය නොහැකිය කියන එකයි. එවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිදුවෙනවා ජාත්‍යන්තර අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා ඡන්දය පාවිච්චි කරන්න.

තෙවැනි කාරණය, දේශීය ක‍්‍රියාදාමයක් ඇරැඹීම හෝ එවැන්නක් කළ හැක්කක් බව පෙන්වීමට ශ‍්‍රී ලංකාව ඔප්පු කළ යුතු මූලිකාංග ගණනාවක් තිබෙනවා. උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය යහපත් ලෙස වෙනස් කිරීමත් මේකට අයත්. අවම වශයෙන් සිරකරුවන් ලෙස රඳවාගෙන ඉන්නේ කවුද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු අතර, ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට හෝ නැතිනම් නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි. එසේම තවදුරටත් සිරකරුවන් වශයෙන් රඳවාගෙන නැති අයට සිදුවුණේ මොකක්ද යන්න හෙළිකළ යුතු වගේම, ඔවුන් ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතුයි. උතුර හා නැගෙනහිර හමුදාහරණය කිරීමත් ඊට ඇතුළත් විය යුතුයි. හමුදාව අත්පත් කරගත් ඉඩම් නැවත ආපසු භාරදීමත් ඊට අයත් විය යුතුයි.

එසේම එල් ටී ටී ඊ විසින් අල්ලාගෙන සිටි මුස්ලිම් ජාතිකයන්ගේ ඉඩම් ද ආපසු ලබාදීම ගැන උතුරු පළාත් සභාව පරීක්‍ෂා කළ යුතුයි. සාක්කිකරුවන්ට බියෙන් තොරව සාක්කි දිය හැකි සැබෑ යාන්ත‍්‍රණයක් ද ඇතිකළ යුතු යි. සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ නීති ප‍්‍රමාණවත් නෑ. සාක්කිකරුවන් බියෙන් පසුවන තාක් කල් අභ්‍යන්තර විනිශ්චය කි‍්‍රයාවලියක් සාර්ථකව සිදුවිය නොහැකියි.

තියෙන බාධකය ඉතා ඉහළ එකක්. මේ පියවරයන් ගන්න නව ශ‍්‍රී ලංකා ආණ්ඩුව කැමැති වෙනවා හෝ සමත් වෙනවා කියා මා විශ්වාස කරනවාදැයි ඇසුවොත්, මට කියන්න තියෙන්නේ, 'කණගාටුයි, මම ඒක විශ්වාස කරන්නේ නෑ' කියලායි. මම හිතන්නේ එය අතිශයින්ම විය නොහැක්කක් බවයි. ඇයි ඔවුන් එය සිදුකරන්නේ නැත්තේ කියලා මගෙන් අහනමවා නම් මට කියන්න තියෙන්නේ, ඒක ආපසු ගැට ගැහෙන්නේ රාජ්‍යයේ සිංහල කේන්ද්‍රීය ස්වභාවය පිළිබඳ ගැඹුරු ප‍්‍රශ්නයට බවයි.

මේ පරිවර්තනයන් සිදුවෙනවා නම් එය ඇත්ත වශයෙන්ම අපූරුයි. මේ අසාමාන්‍ය දේවල් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර කි‍්‍රයාදාමයක් අවශ්‍යයි. සත්‍යයේ, යුක්තියේ හා වගවීමේ එම කි‍්‍රයාදාමය පවත්නා තත්ත්වයේ ගැඹුරු පරිවර්තනයක ආරම්භය විය යුතු අතර, අව්‍යාජ සාම කි‍්‍රයාවලියකට, ප‍්‍රතිසන්ධානයකට හා නිර්භය දේශපාලන විසඳුමකට මාර්ගය විවර කළ යුතුයි.

ශ‍්‍රී ලංකාවේ ජනතාවට යුක්තිය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර බලවතුන් ඇත්තටම කැපවෙන බවට ඔබට සහතික කළ හැකිද?

නෑ. ඒ සම්බන්ධයෙන් කිසිම සහතිකයක් නෑ.

මානව හිමිකම් කවුන්සිලය තුළ වසර ගණනාවක් මන්දගාමීව ඇදීයමින් තිබී පසුගිය වසරේ ඇරැඹුණු කි‍්‍රයාදාමය වැදගත් අවස්ථාවකට පැමිණිලා තියෙනවා කියා මා විශ්වාස කරනවා. අප එහි වැදගත්කම අවතක්සේරු නොකළ යුතුයි. එය ඒ කාලේ ශ‍්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් අරඹන්න කැමැත්තක් නෑ කියන හේතුව නිසා එක්සත් ජාතීන් ගත් තීරණයක්. ඒ නිසා එක්සත් ජාතීන්ට මැදිහත් වෙන්න සිදුවුණා. ඒක සියලූ ලෙඩට බෙහෙතක් නොවේ. එය විසඳුමක් කරා යනු ඇතැයි කාටවත් සහතික කරන්න බැහැ. එහෙත් එය පිළිගැනීමට ලක්විය යුතු වැදගත් අවස්ථාවක්. ජාත්‍යන්තර ප‍්‍රජාව කොක්ක ගලවා දමන්න වගේම ලංකාවට කොක්කෙන් ගැලවී යන්න ඉඩ නොදෙනවාය කියන එක මානව හිමිකම් ගැන තැකීමක් කරන සියල්ලන්ට ඉතා වැදගත්. පසුගිය මාර්තුවේ දී එය විසින් ගන්නා ලද වැදගත් පියවරෙන් ඉවතට ඇදීයන්න ඉඩ නොදිය යුතුයි. මෙය පවත්වාගෙන යන්න ජාත්‍යන්තර ප‍්‍රජාවට ධෛර්යය හා ස්ථිර විශ්වාසය තියෙන බවට කිසිදු සහතිකයක් දෙන්නේ නෑ. අපි පීඩනය දිගින් දිගටම තබාගැනීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි.

පීඩනය දිගටම තබාගැනීම

අපි මේ චිත‍්‍රපටය තවමත් ලෝකය වටා ගෙනයමින් සිටින්නේ පීඩනය දිගින් දිගටම තබාගැනීම ඒ තරමටම වැදගත් වන නිසයි. අපි මේ චිත‍්‍රපටය සිංහලට නඟන්නටත්, ඉංගී‍්‍රසියෙන් යාවත්කාලීන කරන්නටත්, ස්පාඤ්ඤ හා ප‍්‍රංශ බසට පරිවර්තනය කරමින් ඉන්නටත් හේතුව තමයි, එවිට ඊට එක්සත් ජාතීන්ගේ ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවල් සමූහය (Latin American and Caribbean Group - GRULAC) අතරට යන්නට හැකිවීම. අපි මූලික සාර්ථකත්වයෙන් බෙහෙවින්ම ඈතින් සිටීම. ලංකාව සත්‍යය හා යුක්තිය සඳහා යන ගමන් මාර්ගයේ හරියටම ඉන්න බව කිව හැකි තත්ත්වයෙන් අපි තාමත් ඉන්නේ ඉතාම, ඉතාම දුරින්. අද තරම් පීඩනය පවත්වාගෙන යෑම වෙන කවර දාකවත් වැදගත් වුණේ නෑ. මේ චිත‍්‍රපටය ලෝකය වටා ගෙනයාම අපි කරන්නෙත් ඒ කාර්යය අද තරම් වෙන කවරදාකවත් වැදගත් වුණේ නැති නිසායි."

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ලන්ඩනයේ සිටින කාලය තුළ චිත‍්‍රපටයේ පිටපතක් පෞද්ගලිකවම ඔහු අතට පත්කිරීමටත්, නෝ ෆයර් සෝන් හි සිංහල පිටපත නැරඹීමට ඇති කුමන හෝ බාධකයක් වේ නම් එය ඉවත් කරන මෙන් ඉල්ලීමටත් තමන් බලාපොරොත්තු වන බව කැලම් මැක්රේ පවසයි.

"මම ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිගෙන් වගේම ලංකාවේ මාධ්‍යවලිනුත් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේ චිත‍්‍රපටය තමන්ගේ රටේ පෙන්වන්න කියා. ලංකාවේ රූපවාහිනියෙන් මේ චිත‍්‍රපටය පෙන්වන්න බියවීමට කිසිවකුට කිසිදු හේතුවක් තියෙන්න විදියක් නෑ. මා හිතනවා එය ශ‍්‍රී ලංකාවේ රූපවාහිනීවලින් පෙන්විය යුතුයි කියා. ඒ වගේම එය පෙන්වූවාට පසුව අවශ්‍ය නම් සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීම සඳහා මා ශ‍්‍රී ලංකාවට එන්නත් ඉතාම කැමැත්තෙන් ඉන්නවා."

උපුටා ගැනීම :: www.lankadaily වෙබ් අඩවියනි
 

             



 
කැලම් මැක්රේට අමතකව ඇති ඔහු විසින් නැරබිය යුතු පුවත්


1975 - 2014 Sri Lanka

මැක්රේ සබැදි වෙනත් පුවත්
Sri Lanka::  Search for Justice
යුද මුක්ත කලාපය
No Fire Zone සිංහල පිටපත
Macrei Interview with inioru.com 14/03/2015
චැනල් 4 මැක්රේ ජනපතිගෙන් කෑගසා කළ ඉල්ලීම
»කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් ජීවත් වනවාද? මවිතයට පත්වන තොරතුරු - කැල්ලම් මැක්රේ

ජාත්‍යන්තර පරීක්ෂණයකට ශ්‍රී ලංකාවට බලකල යුතුයි - කැලම් මැක්රේ
 ‘No Fire Zone’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ඉල්ලයි -
තමිල්වින් වෙබ් අඩවිය

»ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ පිළිබඳ මාගේ ඊලඟ වර්තාමය චිත්‍රපටය සිංහල ජනතාවත් පිළිගනු ඇත - කැල්ලම් මැක්රේ -
පදිවු වෙබ් අඩවිය

 
කැලම් මැකරේගෙන් නියම වැඩක්. NO FIRE ZONE සිංහලෙන්
Sunday, 08 March 2015 10:12
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත් නිකුත් කිරීම එළබෙන 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී සිදුවේ. කාමර අංක 21 හී පෙරවරු 10 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වූ සිවිල් යුධ තත්වය තුල උතුරේ දෙමළ ජාතික සිවිල් පුරවැසියන්ට මුහුණ පාන්නට වූ ඛේදජනක තත්වය අල්ලා මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙහි ඉංග්‍රීසි පිටපත මීට පෙර නිකුත් වූ අතර මේ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක්ද ඇති විය. කෙසේ නමුත් යුද්ධයේ සැබෑ තත්වය මෙරට දකුණේ සිංහල බහුතරයකගේන් තවමත් වසංකර ඇති තත්වයක් තුල මෙම චිත්‍රපටයයේ සිංහල පිටපතක් නිකුත් වීම අගය කළ යුතුව තිබේ.

ඊනියා යුධ ජයග්‍රහණය, සිංහල මාධ්‍යය තුළ මල්වෙඩි සංදර්ශනයක් වූවද එහි ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ ඇත්ත් පසුගිය රාජපක්ෂ පාලනය හා සිංහල ජාතිවාදී ව්‍යාපාර හා ජඩ මාධ්‍ය ආයතන විසින් විකෘති කරනු ලැබ හා වසන් කරනු ලැබීය. ඒ තබා වත්මන් යහපාලන ආණ්ඩුවට පවා ඒ ඇත්ත හෙළි කිරීමට දෙවරක් කල්පනා කිරීමට තරම් පසු ගිය කාලයෙහි යුද්ධය සම්බන්ධයෙන් පෙන්වූ බොරුව සමාජය තුල ප්‍රබලව පැල පදියම්ව තිබේ. මේ නිසා යුධ අපරාධකරුවන් 'රණවිරු ලේබලය ගසා'ආරක්ෂා කිරීමටත් උතුරේ දෙමලාගේ මානව අයිතිවාසිකම් තව දුරටත් පාලනය කිරීමටත් වත්මන් යහපාලනයට සිදුව තිබේ.

කෙසේ නමුත් මෙම චිත්‍රපටය වෙබ් අඩවි සඳහා නිකුත් කිරීමටද එම නිශ්පාදකයින් අදහස් කර තිබේ. එය සිංහල සමාජයට යුද්ධය පිළිබඳ සැබෑව දැන ගැනීමට වන වටිනා අවස්ථාවකි. නමුත් මෙවැනි නිර්මාණයන් සිදුවිය යුතුව තිබුණේ මෙරට කලාකරුවන්ගේ හෝ මාධ්‍යවේදීන්ගේ හෝ අතින්ය. එහෙත් එහෙම කොන්දක් ඇති ගෝත්‍රවාදී නොවන මානුෂ්‍යවාදී පිරිස් වලින් රට තවම දුප්පත්ය. රටේ වත්මන් ඛේදවාචකය එයය.

 
 



 

 
Most Popular In News
Fearured
 
© by 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |